අම්මි වාඩි වෙන්න, මට ඔඩොක්කුව ඕනෙ

Class එකේ අක්ක කෙනෙකුයි class එකේම තවත් ගෑණු ළමයෙකුත් එක්ක 154කින් දෙමටගොඩ station එකට ඇවිත් එතනින් 1:55 වේයංගොඩ train එකට ගොඩවෙන්න අපිට පුළුවන් වුනා. පාඩම වෙලාවෙත් ලස්සනට නිදි කිරන්න පුළුවන් වුණු මට bus එක අපායක් උනත් දෙමටගොඩ "බීමට සුදුසු නැත" ජල කරාමෙන් මට කියල නිම කරන්න බැරි සනීපයක් දැණුන. රඹුක්කනට අද්දන බඩු කෝච්චිය 3 වෙනි වේදිකාවෙ තියෙද්දිම 2වෙනි වේදිකාවට ආපු වේයංගොඩ train එකට අපි ගොඩ වුනත් මරදානෙන් නගින පිරිස වාඩි වෙන ඉඩ අහුරල තිබුණ.

නිදිමත ඇස් දෙකෙන් බේරෙන බව හොදටම දැණුනත් class එක ඇතුලෙදි වගේ එළියෙත් චාටර් වෙන්න මට අවශ්‍ය වුණේ නෑ. අක්ක ගැටළුවක් නැති උණත් මගෙම වයසෙ කෙල්ලෙක් අපිත් එක්ක ගිය නිසා නින්දට වඩා මහ පාරෙදිවත් රැකගත යුතු ආත්ම ගරුත්වය ගැන හැඟීමක් මගෙ හිතට ආව.

පාඩමින් පාඩම කතා කරපු අපිට අමුතුවෙන් කතා කරන්න මාතෘකාවක් තිබුනෙ නෑ. කොහොම වුණත් කෙල්ලො එක්ක කතා කරන්න ටිකක් බය මට ඒ මොහොතෙ ඔනෙ දෙයක් කතා කරන්න අවස්තාව තිබුනත් මම කතා කලේ නෑ.

අක්කත් සහෝදරිත් අතරෙ ගිය කතාවට නිහඬ සහයෝගයක් දෙන ගමන්ම මගෙ නේත්තරා යුගල කෝච්චි පෙට්ටිය සිසාරා පියමන් කලා. ආනන්දය ජනිත කරන බාලිකා ගහණයක් කෙරවලක සිහින් බස් දෙඩවීමක නිරත වෙලා. ඊටත් දකුණු පැත්තෙන් ලෝහිත ශිෂ්‍ය දෙවර්ගයක් දේවී බාලිකාවන් පිරිසකට ඇනෙයිඋරුක්කු(annoying) අල්ලනව. ඉස්සරහ පෙට්ටියක කොල්ලො කියපු සින්දුවකට මගෙ කකුල මට හොරෙන් නර්තනයක් ඉදිරිපත් කලා.

හුණුපිටිය station එකට ආපු කෝච්චිය පීලිත් රෝදත් ගැටෙන කිරි කිරි හඬත් එක්කම නතර කලා. අපි තුන් දෙනා ඉස්සරහ ඉඬගෙන හිටපු තඩි කාන්තාවක් හෙමින් තමංගෙ බර උස්සගෙන කෝච්චියෙන් බැස්ස. ඒ නික්මයාමත් එක්ක තත්පරයක මොහොතකට හිස්තැනක් නිර්මාණය වුණා!

"කවුද වාඩි වෙන්නෙ?" මම හිතුව. ලඟ හිටපු මැදිවියේ කාන්තාවකගේ සුන්දර රූපකායක් හිමි බාලිකාවියක් හෙමින් හිස්තැනට කිට්ටු වුණා.

නමුත් ඇගේ ගමනේ ප්‍රමාදය ඇයව ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත් කලා. බාලිකාවියට පෙර පැමිණි 2, 3 වසරක ඉගෙනගන්නවා යැයි අනුමාන කළ හැකි පුන්චි සහෝදරයෙක් ඉක්මනින් දුවගෙන ඇවිත් එතනින් වාඩි වුණා.

තවත් සුළු මොහොතකින් ඒ මල්ලිගෙ අම්ම ආව. ඒ අම්මගෙ අතේ මල්ලිගෙ bag එක තිබුණ. ඇය ළඟම තිබුණු කණුවට හේත්තු වුණා. පොඩි මල්ලි කට හඬ අවදි කලා.

"අම්මි වාඩි වෙන්න, මට ඔඩොක්කුව ඕනෙ."

ඒ අම්ම වාඩි වුණා. ඒත් ගම්පහට එනතුරුම ඒ ඔඩොක්කුවෙ තිබුනෙ මල්ලිගෙ bag එක විතරයි.

දෙනගමගෙ ප්‍රබෝත් මහේල ද සිල්වා ජයවර්ධන - (Mahela Jayawardhane - We Owe You)

වසර 3කට පෙර ,

දිනක් ක්‍රිස්ටිනා ජයවර්ධනගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණි. ඒ පකිස්තානයේ සංචාරයක නිරත වී සිටි ඇගේ සැමියා මහේල ජයවර්ධනගෙන්ය.

" කට්ටියක් අපිට වෙඩි තියනවා " ....
ක්‍රිස්ටිනාට ඉන් අනතුරුව ඇසුණේ වෙඩි හඩවල් පමණි. ඇගේ නෙතගින් කදුළු වැගිරුණේ ඇයටත් නොදැනුවත්වය.

ඒ මහේලගේ දිවියේ කටුකම බියකරුම දිනයයි. ක්‍රිකට් ලොවේ තම සමීපතම සගයා කුමාර සංගක්කාරද මරණයෙන් බේරිමට උත්සහ දරන ආකාරය ඔහු දුටුවේය.

ඔහු පසු කලෙක මිතුරන් හා පැවසුවේ මෙයයි.
" මම හිතුවා එදා මම මැරෙයි කියලා "
--------------------------------------------------------------------------------------


අද ,


වසර 30 කට අධික කාලයක් යුද්දයෙන් බැට කා ශ්‍රි ලංකාවාසීන් අද ආඩම්බරයෙන් ලෝක විස්සයි විස්ස ලෝක කුසලානය තම සුන්දර දූපතේ පවත්වයි. ශ්‍රි ලංකාව අවසාන තරගයටද සුදුසුකම් ලබා ඇත.


ශ්‍රි ලංකාවාසීන් සිනහමුසු මුහුණින් සිටියත් ඔවුන් කිසිවිටෙකත් ඔවුන්ගෙ අවාසානාවන්ත සිවිල් යුද්ධය සිතින් අමතක කර නොමැත.
ඔවුන් අද ලොවටම පවසන්නෙ ඔවුන් සිටිය ආකාරත් අද සිටින ආකරයත්ය.
අවසන් තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය ලබා දුන්නේ කොටි සංවිධානය විසින් ඝාතනය කල හිටපු ශ්‍රි ලංකා ජනපති රණසිංහ ප්‍රේමදාසය.

යුද්ධයෙන් පසු ශ්‍රි ලංකා ජනතාවට නැවත සතුටු විය හැකි ආරංචිය බොහෝ දුරට මෙම ලෝක කුසලානය වීමට ඉඩ තිබේ. එය මේ ඉරිදා තීරණය වනු ඇත.
එහෙත් ශ්‍රි ලාංකීය ජනතාව ඔවුන්ගේ ක්‍රිකට් නායකයා ගැන ආඩම්බර විය යුතුය. ඒ ඇයි ?
-------------------------------------------------------------------------------------


අවසාන පුර්ව තරගයට පෙර මහේල සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙ තේ පානය කරමින් සිටියේය. හැමෝම ඔහු දෙස බලයි.
එහෙත් ඔවුන්ගෙ සගයන්වත් ඔහු සමග කතා කිරීමට උත්සහ නොකරයි.
ක්‍රිස්ටිනා පමණක් ලගට වී නිහඩව සිටියි. ඒ මහේල තේ පානයට එතරම් කැමති බැවිනි. සංගා නම් පැමිණ කුමක්දෝ පවසයි.
මහේල අත් ඔරලෝසුව දෙස බලයි. තම සගයින් හා එක්වී පුහුණු වීම්
කටයුතු වලට යායුතුය.

මෙම සිදුවීම් අතර මහේල , ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයන් හට වැදගත් දෙයක් පැවසා තිබුණි.

" මට අවුරුදු 35යි. අවුරුදු 6, 7 ඉදන් යුද්ධය කියනදේ ගැන අහ අහ ජීවත් වුනේ. මගෙ රටේ මිනිස්සු හැමෝම එහෙමයි. දැන් තියෙන්නෙ අපි හිනා වෙන කාලය. "

මහේලගෙ පාසල් මිතුරන් කිහිපදෙනෙක්ද බෝම්බ් වලට අසුවී මිය ගොස් ඇත.
------------------------------------------------------------------------------------------------------------------------------


මහේලගෙ මිතුරෙක් වන සංජීව ජයවර්ධන මෙසේ පවසයි.

" මහේල සාමාන්‍ය පවුලක කෙනෙක්. එයාට මල්ලි කෙනෙක් හිටියා දිශාල් කියලා. දිශාල්ට අවුරුදු 16 දී පිලිකාවකට ගොදුරු වෙන්න සිද්ද වුනා.
මහේලගෙ තාත්තා එයාව බේර ගන්න හැමදේම වික්කා.හැමදේම.
ගෙදර තිබ්බ බඩු පවා. එත් වැඩක් වුනේ නෑ. දිශාල් නැති වුනා. විශ්වාස කරන්න , මහේලගෙ ගෙදරට අන්තිමට ටී.වී. එකක්වත් තිබ්බෙ නෑ.
මහේලට ඉතිරි උනේ එයා හුගක් ආදරේ කරපු බැට් එකයි , සපත්තු දෙකයි විතරයි. ඊට පස්සෙ මහේලට ක්‍රිකට් ගහන්න ආසවක් තිබ්බේ නෑ.
එයා ක්‍රිකට් ගහන අත අරින්න් යද්දි යාලුවො තමයි බල කරලා පුහුණුවීම් වලට ගෙන්න ගත්තෙ."

අද මහේල යනු ලංකාවෙන් බිහිවුණ සුපිරිතම පිතිකරුවා. ලෝක ක්‍රිකට් වලත් එදා මෙදා තුර සිටි , තවමත් සිටින සුපිරිම පිතිකරුවන් කිහිපදෙනා අතර අයෙක්.

මහේල වැඩසටහන්වලට මුහුණ දීමට අකමැති තම මියගිය සොහොයුරා ගැන කතා කිරීම තරම් තවත් කටුක දෙයක් ඔහුගෙ ජිවිතේ නොමැති නිසයි.
ඔහුගෙ අලුත් මිතුරන් දිශාල් ගැන දන්නෙ ඔහු මියගිය බව පමණි.
ඔහු එම මාතෘකාව තුලදී එතරම් නිහඩය. බොහෝදෙනෙක්
නොදන්න තවත් දෙයක් තිබේ.
ඒ ඔහු යන යන තැන තම සොහොයුරාගේ පින්තූරයක් රැගෙන යන බවයි.
ඔහුට දිශාල් පින්තූරක් තුල හෝ ජීවමානව සිටිනු බව සිතමින් ඔහු සතුටු වේ.
මහේල අසරණ රෝගින්ට කරන උදව් ලංකාවෙ ජනතාවත් දන්නවාදැයි සැකයක් උපදියි.
-------------------------------------------------------------------------------------------------------------------------------


මහේල පලමු වතාවට ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකයා වූ කාලයේ දිනක් සිය මිතුරෙකු සමග මළගෙදරක යමින් සිටියේය.
පොලිස් මුරපොලක් ඔවුන්ගේ වාහනය නැවත්විය. මේ සිදු වුයේ රාත්‍රියේ නිසා පොලිස් නිලධාරියාට මහේල හදුනාගැනීමට නොහැකි විය.

"උඹ කවුද කියලා කියපන් " එ මහේලගෙ මිතුරයි.
" මට බෑ " ඒ මහේලගෙ පිලිතුරයි.
" හැදුනුම්පත දෙන්න " පොලිස් නිලධාරියා පැවසුවේය.
මහේලගෙ හැදුනුම්පතේ නම සදහන් වී ඇත්තෙ දෙනගමගෙ ප්‍රබෝත් මහේල ද සිල්වා ජයවර්ධන යනුවෙනි.
එබැවින් පොලිස් නිලධාරියාට පමණක් නොව ඕනෑම අයෙකුට මේ මහේල ජයවර්ධනයයි එක පාරටම හදුනා ගැනීමට් අපහසුය. මහේල නිහඩවම සිටියේය.

" මම ක්‍රිකට් ටීම් එකේ නායකයා වුනාට එයා කරන්නෙ එයාගෙ ඩියුටිය. " මහේල පැවසුවේය.


--------------------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රි ලාංකිකයනි , ඔබ නොදන්න ඔබේ ක්‍රිකට් නායකයා එවැනි චරිතයකි.

(රයිට් තොම්සන් නම් විදේශිය ලේඛකයා පලකල ලිපියක් ඇසුරෙනි)
පරිවර්තනය : Elakiri.com හී සහෝදරයෙකු විසින් )

Raa Sanda Eliye - රෑ සඳ එළියේ...


අපි මේ blog අඩවියෙ කතා කරන්නෙ ගොඩක්ම සමාජීය මාතෘකාවන් ගැන. ඒත් අද ඊට වඩා අමුතුම දෙයක් බෙදාගන්න මම සූදානම් වුනා. තරුණ පරපුරේ, කුණාටු සමය ගතකරන අවධිය ගැන ලියවුණු ගීතයක්.

ඇත්තටම, මේ ගීතය ලියවෙන්නෙ අත්හදා බැලීමක් වශයෙන්. තාරුණ්‍යයේ ගැටළුවක් ගීතමය මුහුණුවරකින් ලෝකෙට කියන්න මම මෙතනදි උත්සහ ගත්ත.

ඔයාගෙ වටිනා කාලයෙන් තත්පරයක් වියදම් කරල අපේ වැඩේ හොඳ නරක ගැන අපිට කියන්න.

Song Title : Raa Sanda Eliye (රෑ සඳ එළියේ)

Vocals & Lyrics : Dhanusha Dissanayake
Music - Binendra Ranathunge
Composing - Dasun Wanigasekara

ළමා දිනය! (Adults Only ද?)


ටිකට් කවුන්ටරෙන් එළියට ආව මනරම් පුළුලුකුලක් මාව පහු කරගෙන ගියත් තවත් තත්පර හැටක් ඇගේ ජීව ගන්ධය මගෙ වටේ පැවතුනා. සැන්ට් සුවඳ මගෙ නහය හාරගෙන හෘදය වස්තුවේ කේශ නාලිකා අවහිර කරන අතරෙ පුරුද්දට වගේ ලේන්සුවට මගෙ අත ගියා. ලේන්සුවටත් වඩා සූදානමින් තියාගෙන තිබුනු ජංගම දුරකතනය ප්‍රථමයෙන් මගේ ඇඟිලි පහස විඳගත්ත.

ඔපෙරාමිනිය (opera-mini web browser) ඇරගත්තු මම කෝච්චිය එනකන් තිබුනු නොඉවසිල්ල මූහුණු පොතට බාල්දු කලා. Facebook Home Page එකට ගිය මම මුලින්ම දැක්කෙ ලෝක ළමා දිනය ගැන දාල තිබ්බ Photo එකක්. මෙච්චර වෙලාවක් වල්පල් කල්පනා කරපු මට "අද නේද ලෝක ළමා දිනය" කියන අදහස එනකොට කෝච්චිය ඇවිත් මගෙ සිතුවිලි දාමය විනාස කලා.

හිටපු ප්‍රවාහන ඇමති කෙනෙක් සිහිකරවමින් කෝච්චිය "ඩලස් ඩලස්... ඩලස් ඩලස්" සද්දෙ හෙමින් වැඩි කරමින් ඉදිරියට ඇදුන. වෙනදට වඩා අඩු පිරිසක් හිටියත් ඉඳගන්න තැනක් කෝච්චියෙ තිබුනෙ නෑ. පුරුද්දට වඩා ජන්මය ලොකු කරගෙන මම බොහොම ඉඩ පහසුවට කෝච්චිය මැද්දෙ කනුවකට හේත්තු වෙලා earphone කනේ ඔබාගත්තත් හැමදාම අහපු සින්දු ආයෙ අහන්න මට වුවමනාවක් තිබුන් නෑ.

බටුවත්ත දුම්-රිය ස්ථානයෙන් නැගපු St.###### College එකේ 7, 8 වසරෙ කියන්න පුලුවන් මල්ලි කෙනෙක් මම හිටපු කනුව ලගටම ඇවිත් අල්ලගත්ත. "මං අල්ලගත්තු තැනට මේ යකා ආවනෙ" කියන හැඟීම තත්පරයක මොහොතකට මගෙ හිතට ආවත් "පව්" කියන හැඟීම සියලු කෝපයන් සමනය කළා.

පීල්ල එක්ක ගෝරි අල්ලන රෝද සුපුරුදු සංගීතයම පරිසරයට එකතු කළා. වේගවත් ගමනේ තිබුනු සිසිලසට වඩා පුන්චි රස්නයක් මගෙ අතේ රෝම කූප අවදි කලා. කණුව අතින් අල්ලං හිටපු මල්ලි ඔලුවත් හේත්තු කරගෙන. ප්‍රශ්වාස වාතය සමඟ වායුගෝලයට ඔහු යොමු කළ වායු ධාරාවල උනුසුම ඔහුගේ අසනීප තත්වය මට අවබොධ කළා.වැඩිහිටියන්ගෙ යැයි පැවසිය හැකි ඇස් කිහිපයක්ම ඔහු දිහාට යොමු වුනත් ඒ ඇස් වෙන වෙන පෞද්ගලික මානයන් වලට ආයෙමත් යොමු වුනේ සියල්ල නොසළකාහරිමින්.ඉඳගෙන හිටපු වැඩිහිටියන්ට වඩා හිටගෙන හිටපු මගෙ වැඩිහිටි බව ශක්තිමත් වුණා. කාරුණික හැඟීමකින් අවදිවුනු මගේ කටහඬ මට වඩා ඉක්මනට ඔහුට සමීප වුණා.

"මල්ලි මචං, මොකද අවුල? වාඩි වෙනවද?"

පුංචි හිනාවකින් මං දිහා බලන් "නෑ අයියෙ, ෂේප්" කියපු මල්ලි හෙමින් සීරුවට foot board එක පැත්තට ගියා.

මෙච්චර වෙලා තම තමන් අතරෙ පෞද්ගලික සාකච්ඡා කරපු පිරිස් හෙමින් හඬ අවදි කළා.

"බලන්න අර ළමය foot board එකේ යනව", "මෙච්චර ඉඩතියෙද්දි", "වැටුනොත් එහෙම".

"මෙච්චර වෙලා අර පොඩි එකාගෙ ඇස් දිහා බල බල හිටිය උඹලට අඩු ගානෙ අද ළමා දිනය කියලවත් මතක් වුනේ නැද්ද" කියල අහන්න මට අවශ්‍ය වුණත් අදම නේද වැඩිහිටි දිනය කියල මතක් වෙලා මම නිහඬවම foot board එක පැත්තට ගියා...