ළමා දිනය! (Adults Only ද?)


ටිකට් කවුන්ටරෙන් එළියට ආව මනරම් පුළුලුකුලක් මාව පහු කරගෙන ගියත් තවත් තත්පර හැටක් ඇගේ ජීව ගන්ධය මගෙ වටේ පැවතුනා. සැන්ට් සුවඳ මගෙ නහය හාරගෙන හෘදය වස්තුවේ කේශ නාලිකා අවහිර කරන අතරෙ පුරුද්දට වගේ ලේන්සුවට මගෙ අත ගියා. ලේන්සුවටත් වඩා සූදානමින් තියාගෙන තිබුනු ජංගම දුරකතනය ප්‍රථමයෙන් මගේ ඇඟිලි පහස විඳගත්ත.

ඔපෙරාමිනිය (opera-mini web browser) ඇරගත්තු මම කෝච්චිය එනකන් තිබුනු නොඉවසිල්ල මූහුණු පොතට බාල්දු කලා. Facebook Home Page එකට ගිය මම මුලින්ම දැක්කෙ ලෝක ළමා දිනය ගැන දාල තිබ්බ Photo එකක්. මෙච්චර වෙලාවක් වල්පල් කල්පනා කරපු මට "අද නේද ලෝක ළමා දිනය" කියන අදහස එනකොට කෝච්චිය ඇවිත් මගෙ සිතුවිලි දාමය විනාස කලා.

හිටපු ප්‍රවාහන ඇමති කෙනෙක් සිහිකරවමින් කෝච්චිය "ඩලස් ඩලස්... ඩලස් ඩලස්" සද්දෙ හෙමින් වැඩි කරමින් ඉදිරියට ඇදුන. වෙනදට වඩා අඩු පිරිසක් හිටියත් ඉඳගන්න තැනක් කෝච්චියෙ තිබුනෙ නෑ. පුරුද්දට වඩා ජන්මය ලොකු කරගෙන මම බොහොම ඉඩ පහසුවට කෝච්චිය මැද්දෙ කනුවකට හේත්තු වෙලා earphone කනේ ඔබාගත්තත් හැමදාම අහපු සින්දු ආයෙ අහන්න මට වුවමනාවක් තිබුන් නෑ.

බටුවත්ත දුම්-රිය ස්ථානයෙන් නැගපු St.###### College එකේ 7, 8 වසරෙ කියන්න පුලුවන් මල්ලි කෙනෙක් මම හිටපු කනුව ලගටම ඇවිත් අල්ලගත්ත. "මං අල්ලගත්තු තැනට මේ යකා ආවනෙ" කියන හැඟීම තත්පරයක මොහොතකට මගෙ හිතට ආවත් "පව්" කියන හැඟීම සියලු කෝපයන් සමනය කළා.

පීල්ල එක්ක ගෝරි අල්ලන රෝද සුපුරුදු සංගීතයම පරිසරයට එකතු කළා. වේගවත් ගමනේ තිබුනු සිසිලසට වඩා පුන්චි රස්නයක් මගෙ අතේ රෝම කූප අවදි කලා. කණුව අතින් අල්ලං හිටපු මල්ලි ඔලුවත් හේත්තු කරගෙන. ප්‍රශ්වාස වාතය සමඟ වායුගෝලයට ඔහු යොමු කළ වායු ධාරාවල උනුසුම ඔහුගේ අසනීප තත්වය මට අවබොධ කළා.වැඩිහිටියන්ගෙ යැයි පැවසිය හැකි ඇස් කිහිපයක්ම ඔහු දිහාට යොමු වුනත් ඒ ඇස් වෙන වෙන පෞද්ගලික මානයන් වලට ආයෙමත් යොමු වුනේ සියල්ල නොසළකාහරිමින්.ඉඳගෙන හිටපු වැඩිහිටියන්ට වඩා හිටගෙන හිටපු මගෙ වැඩිහිටි බව ශක්තිමත් වුණා. කාරුණික හැඟීමකින් අවදිවුනු මගේ කටහඬ මට වඩා ඉක්මනට ඔහුට සමීප වුණා.

"මල්ලි මචං, මොකද අවුල? වාඩි වෙනවද?"

පුංචි හිනාවකින් මං දිහා බලන් "නෑ අයියෙ, ෂේප්" කියපු මල්ලි හෙමින් සීරුවට foot board එක පැත්තට ගියා.

මෙච්චර වෙලා තම තමන් අතරෙ පෞද්ගලික සාකච්ඡා කරපු පිරිස් හෙමින් හඬ අවදි කළා.

"බලන්න අර ළමය foot board එකේ යනව", "මෙච්චර ඉඩතියෙද්දි", "වැටුනොත් එහෙම".

"මෙච්චර වෙලා අර පොඩි එකාගෙ ඇස් දිහා බල බල හිටිය උඹලට අඩු ගානෙ අද ළමා දිනය කියලවත් මතක් වුනේ නැද්ද" කියල අහන්න මට අවශ්‍ය වුණත් අදම නේද වැඩිහිටි දිනය කියල මතක් වෙලා මම නිහඬවම foot board එක පැත්තට ගියා...

No comments: