අම්මි වාඩි වෙන්න, මට ඔඩොක්කුව ඕනෙ

Class එකේ අක්ක කෙනෙකුයි class එකේම තවත් ගෑණු ළමයෙකුත් එක්ක 154කින් දෙමටගොඩ station එකට ඇවිත් එතනින් 1:55 වේයංගොඩ train එකට ගොඩවෙන්න අපිට පුළුවන් වුනා. පාඩම වෙලාවෙත් ලස්සනට නිදි කිරන්න පුළුවන් වුණු මට bus එක අපායක් උනත් දෙමටගොඩ "බීමට සුදුසු නැත" ජල කරාමෙන් මට කියල නිම කරන්න බැරි සනීපයක් දැණුන. රඹුක්කනට අද්දන බඩු කෝච්චිය 3 වෙනි වේදිකාවෙ තියෙද්දිම 2වෙනි වේදිකාවට ආපු වේයංගොඩ train එකට අපි ගොඩ වුනත් මරදානෙන් නගින පිරිස වාඩි වෙන ඉඩ අහුරල තිබුණ.

නිදිමත ඇස් දෙකෙන් බේරෙන බව හොදටම දැණුනත් class එක ඇතුලෙදි වගේ එළියෙත් චාටර් වෙන්න මට අවශ්‍ය වුණේ නෑ. අක්ක ගැටළුවක් නැති උණත් මගෙම වයසෙ කෙල්ලෙක් අපිත් එක්ක ගිය නිසා නින්දට වඩා මහ පාරෙදිවත් රැකගත යුතු ආත්ම ගරුත්වය ගැන හැඟීමක් මගෙ හිතට ආව.

පාඩමින් පාඩම කතා කරපු අපිට අමුතුවෙන් කතා කරන්න මාතෘකාවක් තිබුනෙ නෑ. කොහොම වුණත් කෙල්ලො එක්ක කතා කරන්න ටිකක් බය මට ඒ මොහොතෙ ඔනෙ දෙයක් කතා කරන්න අවස්තාව තිබුනත් මම කතා කලේ නෑ.

අක්කත් සහෝදරිත් අතරෙ ගිය කතාවට නිහඬ සහයෝගයක් දෙන ගමන්ම මගෙ නේත්තරා යුගල කෝච්චි පෙට්ටිය සිසාරා පියමන් කලා. ආනන්දය ජනිත කරන බාලිකා ගහණයක් කෙරවලක සිහින් බස් දෙඩවීමක නිරත වෙලා. ඊටත් දකුණු පැත්තෙන් ලෝහිත ශිෂ්‍ය දෙවර්ගයක් දේවී බාලිකාවන් පිරිසකට ඇනෙයිඋරුක්කු(annoying) අල්ලනව. ඉස්සරහ පෙට්ටියක කොල්ලො කියපු සින්දුවකට මගෙ කකුල මට හොරෙන් නර්තනයක් ඉදිරිපත් කලා.

හුණුපිටිය station එකට ආපු කෝච්චිය පීලිත් රෝදත් ගැටෙන කිරි කිරි හඬත් එක්කම නතර කලා. අපි තුන් දෙනා ඉස්සරහ ඉඬගෙන හිටපු තඩි කාන්තාවක් හෙමින් තමංගෙ බර උස්සගෙන කෝච්චියෙන් බැස්ස. ඒ නික්මයාමත් එක්ක තත්පරයක මොහොතකට හිස්තැනක් නිර්මාණය වුණා!

"කවුද වාඩි වෙන්නෙ?" මම හිතුව. ලඟ හිටපු මැදිවියේ කාන්තාවකගේ සුන්දර රූපකායක් හිමි බාලිකාවියක් හෙමින් හිස්තැනට කිට්ටු වුණා.

නමුත් ඇගේ ගමනේ ප්‍රමාදය ඇයව ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත් කලා. බාලිකාවියට පෙර පැමිණි 2, 3 වසරක ඉගෙනගන්නවා යැයි අනුමාන කළ හැකි පුන්චි සහෝදරයෙක් ඉක්මනින් දුවගෙන ඇවිත් එතනින් වාඩි වුණා.

තවත් සුළු මොහොතකින් ඒ මල්ලිගෙ අම්ම ආව. ඒ අම්මගෙ අතේ මල්ලිගෙ bag එක තිබුණ. ඇය ළඟම තිබුණු කණුවට හේත්තු වුණා. පොඩි මල්ලි කට හඬ අවදි කලා.

"අම්මි වාඩි වෙන්න, මට ඔඩොක්කුව ඕනෙ."

ඒ අම්ම වාඩි වුණා. ඒත් ගම්පහට එනතුරුම ඒ ඔඩොක්කුවෙ තිබුනෙ මල්ලිගෙ bag එක විතරයි.

No comments: