කොන්දොස්තර

බොහොම පුරුදු විදියට virtual එකෙන් එලියට බැහැල ඉක්මනට දුවල ගිහින් 154 බස් කට්ටක් අල්ලගන්න මට පුලුවන් වුණා. තෙහෙට්ටුව දෙපිටින් යන්න මූනෙන් දාඩිය බේරිලා යන හැටි මගෙ පුන්චි රැවුල් ගස් වලට දැනුනත් එතන තියන සුන්දර හැඟීම් ගැන අවධානය යොමු කරන්න මට පුලුවන් කමක් තිබුනෙ නෑ.
ටිකට් ගන්න කියාගෙන කොන්දොස්තර මගෙ ලඟට ආව. මගෙ තාත්තටත් වඩා වැඩිමල් කොන්දොස්තර මට "ඔය ඉස්සරහ ඉන්න මල්ලි ටිකට් ගන්න" කියනකොට එතන බිහිවුණු සමාජමය උපහාසය ගැන හිතන්නවත් ඉඩක් ලැබෙන්න කලින් මගෙ අත ඉස්සර වුණා. තත්පර කාලකටත් අඩු නිමේෂයකදි මගෙ අතේ තිබුණු රුපියල් දොළහත් ඩැහැගෙන කොන්දොස්තර නොපෙනී ගියා.මම කල්පනා කලේ "යකෝ මුගෙ පුතාටත් බාල මට මූ මල්ලි කිව්වනෙ" කියල. දාඩියෙන් බර මූණ තමන්ගෙ සාරිය අවලස්සන කරනවට බස් එකේ නැගල හිටිය ගුරු දේවතාවියන්ගෙ විරෝධය යොමු වුණේ පොඩි උරහිස ගැස්සිල්ලකින් විතරක් වුණාට පාපුවරුව පුරා රජ කරන ඉස්කෝලෙ යන කොල්ලන්ට කොන්දොස්තරව තවත් විහිලුවක් විතරක්ම වුණා. බලෙන් පටවානොගත්තත් යන්න තියන හදිස්සියට "නැන්දලා යැයි ඇමතිය හැකි පිරිස්" බස් එකට ගොඩ වුණා. වැඩිහිටියෙක් නමින් තමන්ව හදුන්වගන්න පුලුවන් මනුස්සයෙක් "ගොන්නු පටවනව වගේ" කියල කොන්දොස්තරට වාග් ප්‍රහාරයක් එල්ල කරා. ඒ වුණත් ඇවිදින ලද දහස් වටින පයක් පමණක් පාපුවරුවෙ රඳවාගෙන දවසේ වේල ඇඟිලි කරු අතර හිරකරගත් කොන්දොස්තර දොරෙන් පහලට වටෙන විශාල ජනකායකගෙ ටොන් ගානක් වුණු බර දරාගෙන හිටිය. ඒත් බස් එක පුරා පැතිරුනු කොන්දොස්තරගෙ දාඩිය ගඳ තවදුරටත් ඒ විදියටම හැමෝටම දැනුන.දෙමටගොඩ ස්ටේෂන් එකෙන් ගම්පහට ටිකට් එකක් අරගෙන "බීමට සුදුසු නැත" කරාමෙට හෙමින් දෑත් යොමු කරපු මම පුරුදු විදියට මූණ ටිකක් තෙත් කරගත්ත. දාඩියෙන් තෙත් වුණු මූණ පුරා වතුර ගෑවෙන මොහොතෙ බොහොම සුව පහසු බවක් දැනුන. ඒත්... ඒත් එක්කම මට මතක් වුණේ කොන්දොස්තර මාමව. පවු ඒ මනුස්සය.......

No comments: