DVD කඩේ අයිය

වංගුව ලඟදි අපේ ගෙවල් පැත්තට තියන පාරෙ ඉඳල motor බයිසිකලයක්වත් දාන්නැති තරම් වේගෙන් මම ෆුටාර් එක මහ පාරට දැම්ම. ජීවිතේට තියන ආසාවට වගේම වයසෙ වැරැද්දට මතුවෙන තරුණ උද්යෝගිමත් බවට එහා පැත්තෙ මිදි කඩේට ආපු බයිසිකල්කාරයෙක් බොහොම ගෞරවයෙන් මට "හරකා" කියල ආමන්ත්‍රණය කළා. තත්පර කිහිපයකට නැවතිලා ඒ මහත්මයගෙ ජාතක පොත පෙරලළා බලන්න මට හිතුනත් තිබුනු ගැම්මට මම නවතින්නැතුවම මම බයිසිකලේ යක්කලට පැද්ද.

බස් ඩ්‍රැයිවරුන්ගේ උපරිම හැකියාව හරිහැටි දැනෙන නොනවතින horn සද්දෙ අමාරුවෙන් ඉවසගෙන වාහන අතරින් bike පැදගෙන ගිය මම කෙළින්ම නතර උනේ  #### අයියගෙ DVD කඩේ අවුරුදු දහයෙ ඉඳල හැමදාම රින්ගන film කඩේට මෙදත් මම පුරුදු විදියටම රිංගුව. වර්ග අඩි කිහිපයක පුංචි කඩ කාමරය පුරා පුන්චි යකඩ පටි වල DVD දර්ශනය වුනා. එදා මෙදා අතර දකින්න තිබුණු එකම වෙනස වුනේ එදා තිබුණු VCD වෙනුවට අද DVD තියන එක.

මම: අයියෙ මොනවද අලුත් films?

අයිය: ආ... මල්ලි... අලුත් එව්ව තියනව...

මම: මොනවද?

අයිය: "Dark Shadows" බැලුවද?

මම: නෑ, මොකක්ද සීන් එක?

අයිය: අන්න සුප්ප film එක... vampire සීන් එකක්...

මම: අපෝ... ඕව digital mafia... වෙන මොනවද?

අයිය: ආහ්... තව තියනව "The Dictator", හැබැයි පොඩ්ඩක් upset කෑලි තියනව...

මම: අපෝ අපෝ පණුවන්ට හොඳ නැත්තම් එපා...

මේ විදියට කඩේ අයියයි මමයි කතාකරන අතරෙ අවුරුදු 10ක විතර මේ පාර ශිෂ්‍යත්ව විභාගෙ ලියපු පොඩි එකෙක් එක්ක අම්ම කෙනෙක් ආව.

අයිය: මොනවද බබා ඕනෙ?

බබා: අම්මේ

අම්ම: මල්ලි මෙන්න මෙයාට "Scooby Doo" ද මොකද්ද ඉල්ලනව

බබා: "Scooby Doo"

අයිය: "Scooby Doo" අන්න අතන තියනව, බබා බලන්න...

(අයිය අර පොඩි එකාට Films තෝරන්න දුන්න.)

බබා: අම්මෙ මෙන්න Cats and Dogs එක

අයිය: බබා තෝරගන්නකො

බබා: පුතේ එකක් විතරයි...

බබා: බෑ බෑ මට දෙකම ඕනෙ.

අම්ම: පිස්සු නටන්න එපා දරුවො

බබා: අනේ අම්මෙ

පොඩි එකාගෙන් බේරෙන්න බැරිවුණු ඒ අම්ම බෑග් එකට ඔළුව දාන්න ඔන්න මෙන්න තියෙද්දි කඩේ අයිය මෙහෙම කිව්ව.

අයිය: කමක් නෑ මිස්, දෙකම අරගෙන 150/=ක් දෙන්න.

අම්ම: ආ මල්ලි... (ඒ අම්ම සල්ලි දුන්න )
යන්නං මල්ලි...

බබා: බායි අයියා...

අයිය: බායි, බබා ආයෙත් දවසක එන්න..

මට ගන්න ඕන වුණු film එකත් අරගෙන මමත් මගෙ ෆුටාර් දඬු මොණරෙට නැගල ගම්පහ පැත්තට පාගනකොට ටික දුරක් යන්න කලින් අර අම්මයි පුතයි යනව. කන ඒ පැත්තට දාගෙන දෙන්න ලඟින් පාගගෙන යද්දි පොඩි එකා මෙහෙම කියනව මට ඇහුන...

බබා: අම්මෙ ඒ අයිය හරි හොඳයි. අපි ආයෙත් දවසක එමු.

ගෙදර ඇවිත් මම කල්පනා කළේ එක දෙයයි... " DVD කඩේ අයිය මට කරන්න ඇත්තෙත් ඔය ටිකම වෙන්න ඇති."

No comments: