මිනිස්‌කම වෙනුවෙන් රුපියල් කෝටියකට පයින් ගැසූ අභිමානවත් ශ්‍රී ලාංකික තරුණයා

මනුෂ්‍යත්වය මුදලට විකිණීමේ සිද්ධීන් අප ඕනෑතරම් අසා තිබෙන අතර මේ වනවිටත් ශ්‍රී ලංකාවේ වැඩිපුර සිදු වන්නේද එයමය. නමුත් දැන් දැන් මනුෂ්‍යත්වය මුදලට විකිණීම වෙනුවට මුදල් විසින් මනුෂ්‍ය ජීවිත බිල්ලට ගැනීම සිදු වෙමින් තිබේ. එසේ නොමැති නම් රුපියල් ශත හමුවේ උතුම් මනුෂ්‍ය ජීවිතවල ඉරණම තීන්දු වෙයි.

මුදලට මනුෂ්‍යත්වය පාදඩකරණය වූ යුගයක අප ඔබට මේ කියන කතාව ඔබ විශ්වාස නොකරනු ඇත. එහෙත් එය ඔබ විශ්වාස කරනු ඇත. මන්ද එය සිදු වූයේ ශ්‍රී ලංකාවේදී නොව කටාර් රාජ්‍යයේදී බැවිනි. එහෙත් මේ කතාව අපට මහත් ආඩම්බරයකි. මන්ද වැලිකතරේ සුවඳ හැමූ මේ මනුෂ්‍යත්වයේ කුසුම සුවඳවත් කළේ සැබෑ ශ්‍රී ලාංකිකයන් බැවිනි.

ප්‍රදීප් කුමාර ගෝනදූවගේ යනු කුරුණෑගල පදිංචි දැනට කටාර් රාජ්‍යයේ අල් බතීල් සෙකිරිකෝ ආරක්‍ෂක සේවා සමාගම යටතේ දෝහා කටාර්හි කැරිෆෝ සාප්පු සංකීර්ණයේ ආරක්‍ෂක සේවා කටයුතුවල යෙදී සිටින තරුණයෙකි. පසුගිය දිනෙක සේවයේ යෙදී සිටි ප්‍රදීප් කුමාර තරුණයාට සාප්පු සංකීර්ණයේ නිමි ඇඳුම් සාප්පුවක "ෆිටෝන්" කාමරයක තිබී මුදල් පසුම්බියක්‌ හමු විය. සාමාන්‍යයෙන් මෙම සාප්පු සංකීර්ණයේ "ෆිටෝන්" කාමරවල ආරක්‍ෂක කැමරා පද්ධති සවිකර නොමැත. එබැවින් මේ මුදල් පසුම්බිය පිළිබඳ කිසිදු තොරතුරක්‌ ආරක්‍ෂක කැමරා පද්ධතියේ සටහන් වන්නේ නැත. එම නිසා පහසුවෙන්ම මෙම මුදල් පසුම්බිය සාක්‌කුවට දමා ගැනීමට ප්‍රදීප්ට ඕනෑ තරම් ඉඩ ප්‍රස්‌ථාව තිබිණි. නමුත් ප්‍රදීප් ඔහුගේ අවංකභාවය වැලිකතරේ පිපිණු කුසුමක්‌ සේ විකසිත කරමින්
තත්පරයකින් වත් ප්‍රමාද නොවී වහා මුදල් පසුම්බිය කැරිෆෝ ආරක්‍ෂක සේවා කළමනාකාරීත්වයට භාරදීමට පියවර ගත්තේ තම රාජකාරියේ වගකීම අකුරටම ඉටු කරමිනි.

කැරිෆෝ ආරක්‍ෂක නිලධාරීහු මුදල් පසුම්බිය පිරික්‌සා බැලූහ. එය දකුණු අප්‍රිකානු ජාතිකයකුට අයත් වූවකි. ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටියකට ආසන්න මුදල් හා රත්තරන්වලින් පසුම්බිය පිරී තිබිණි. රත්තරන් ග්රෑම් 500 ක්‌, ඇමෙරිකානු ඩොලර් 7000 ක්‌, එක්‌සත් අරාබි ඩිනාර් 23000 ක්‌, ඔස්‌ටේ්‍රලියන් ඩොලර් 500 ක්‌, සහ කුවේට්‌ ඩිනාර්වලින් පිරී තිබූ මෙම මුදල් පසුම්බියේ හිමිකරු ඒ වන විටත් ඒ පිළිබඳ සියලු බලාපොරොත්තු අත්හැර දමා තිබිණි.

එහෙත් ශ්‍රී ලාංකික තරුණයාගේ අවංකභාවය දකුණු අප්‍රිකානු ජාතිකයාට වාසනාව උදා කළේය. කැරිෆෝ ආරක්‍ෂක නිලධාරීහු කඩිනමින් මුදල් පසුම්බියේ හිමිකරු සම්බන්ධ කර ගනිමින් ඔහුගේ දැතටම මුදල් පසුම්බිය භාර දුන්හ. ආරක්‍ෂක සේවා නිලධාරීන්ට බලවත් ස්‌තූතිය පුද කළ දකුණු අප්‍රිකානු ජාතිකයා ශ්‍රී ලාංකීය තරුණයාට මුදල් ත්‍යාගයක්‌ පිරිනැමුවේ ඔහුගේ අවංකභාවයට මහත් ප්‍රශංසා කරමිනි.


තොරතුරු සැපයීම - රමල් කුලතුංග - Ramal Kilathunga

No comments: